Monday, November 15, 2021

ගැමි නැටුම්

 ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු 

නිරූපණය කරන කලා මාධ්‍යයකි

    


                    ගැමි නැටුම් වනාහි ගැමි ජනතාවගේ සිය ජීවනෝපායන් හා සමීප වෙමින් ඒ ඔස්සේ නිර්මාණය කරගත් කලාංගයකි. එහිදී ආදී ජනයා කෘෂිකර්මාන්තය හා බැඳුණු සරල නර්තන නිර්මණය කරගන්නා ලදී. ඒවා තුල අන්තර්ගත වන්නේ, එම ජනතාවගේ ජීවනෝපයන් හා සබැඳි අංගයන් ය. ඒ අනුව සරල රංග වස්ත්‍ර සහ සරල රංග භාණ්ඩ යොදාගනිමින් නිර්මාණය කරගන්නා ලද මේ ගැමි නැටුම් තුලින් ඔවුන්ගේ ජීවන තොරතුරු නිරූපණය වේ. ඒ සඳහා කදිම නිදසුන වන්නේ කෘෂිකර්මාන්තයයි. 

                    කෘෂිකර්මාන්තය හා සම්බන්ධ බොහෝ නර්තනාංග ඉදිරිපත් කර ඇති බව ඉතිහාසයෙන් පිළිඹිබු වේ. ගොයම් නැටුමට අයත් කවියක් තුලින් ඒ බව මෙසේ විදහා දක්වයි.

    '' පළමුව            බුද්ධං          සරණේ           නමකර

      දෙවනුව          ධම්මං         සරණේ            නමකර

      තෙවනුව         සංඝං          සරණේ            නමකර

      අඩිය               තබන්නට   මිහිකත්            අවසර ''   

                                                                                    මෙම කවිය ගත් කළ ඒ තුලින් ගැමි ජනායාගේ ජීවන රටාව මනාව පිළිඹිබු කරයි. එනම් කිසියම් ක්‍රියාවක්  ආරම්භ කිරීමට පෙර ඔවුන් ත්‍රිවිධ රත්නයෙන් අවසර ලබා ගනී. එපමණක් නොව ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය සඳහා කුඹුරට බැසීමට මහී (පොළොව) කාන්තාවගෙන් අවසර පතයි. මෙය වූ කලී අතීත ජනයාගේ ජීවන තොරතුරු හෙලිදරව් කිරීමකි.

                    එපමණක් ද නොව ගොවිතැන ජීවනෝපාය කරගත් ගැමි ජනයා තුල සෑම මොහොතකම ඇදහිලි හා විශ්වාසවලට මුල් තැනක් දුන් බවටද පහත කවිය සාක්ෂි දරයි. 

     '' ඉර         දෙවියන්ගේ         ඉරගල           ගාවා

       සඳ         දෙවියන්ගේ         සඳගල           ගාවා

       ඝණ        දෙවියන්ගේ        කෝවිල         ගාවා

       අපිත්       කියමු කවි           ගොවිපළ       ගාවා '' 

                                                                      ඈත අතීතයේ පටන් ම පැවත එන ඇදහිලි හා විශ්වාස අද්‍යතන ජන සමාජයේ ද අපට දක්නට ලැබේ. දුරාතීතයේ ඉර, හඳ, අව්ව, වැස්ස, ගින්න ආදී අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් පිහිට ලබාගත් ගැමියා දෙවි දේවතාවුන්ගෙන් ද පිහිට අයැද සිටීම ඉහත කවියෙන් ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව ගැමි නැටුම් ඉදිරිපත් කිරීමේදී ඇදහිලි විශ්වාසවලින් පිහිට ලබා ගත් බව පෙනේ.

                    සාමූහිකත්වය, සහයෝගය, සාහජීවනය, එකමුතු බව හා සුහදත්වය ආදී යහපත් ගුණාංග රාශියක් ගැමි සමාජය තුල පැවති බවට පහත කවියෙන් ඉදිරිපත් කරයි. 

  
     
'' උඩහ         ගෙදර         රන්කිරි        නංගිලත්           ඇවිල්ලා

       පහළ         ගෙදර         රන්කිරි        නංගිලත්            ඇවිල්ලා

       දොංත        තකට         දොං            තාලෙට පාද         තබාලා

       ගොයම්     කපති          ලස්සන        ගී සින්දු              කියාලා ''

                                                                                           අසල්වැසියන් එකමුතු වී ඔවුනොවුන්ගේ ක්‍රියාවන්ට දක්වන්නා වූ සාහයෝගය මෙම කවියෙන් පෙන්වන්නේ ගැමි නැටුම් තුලින් ගැමි ජනයාගේ ජීවන තොරතුරු මනා සේ විදහා දක්වමිනි. මේ අනුව බලන කළ ගැමි නැටුම් තුලින් ගැමි ජනතාවාගේ ජීවන තොරතුරු නිරූපණය වන බව මනාව පැහැදිලි වේ. 

                        තවද ගැමි ජනතාවගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලීමේ දී ඔවුන් කර්කශ වූ ජීවිතයක් ගත කළ ද ඉඩකඩ ලැබෙන සෑම මොහොතකම ඉතා විනෝදයෙන් තම ජීවිත ගත කළ බව අපි දන්නෙමු. ඒ බව මනාව ගැමි නැටුම් තුලින් විදහා පායි. 

                        උක්ත සියලු කරුණුවලට අනුව  ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස ගම්‍යමාන වේ.  



සටහන : සුපිපි විහගිකා


 

5 comments:

ගැමි නැටුම්

  ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු  නිරූපණය කරන කලා මාධ්‍යයකි                               ගැමි නැටුම් වනාහි  ගැමි ජනතාවගේ සිය ජීව...