ගැමි නැටුමින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම
ගැමි නැටුම් යනු, ගැමියන් විසින් ඔවුන්ගේ ජීවන රැකියාවන්, සමාජ අවශ්‍යතා, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස හා ආගමික පසුබිම, ඕනෑ එපාකම් යනාදී සියල්ල එක් කර ගනිමින් නිර්මාණය කරගත් කලා අංගයකි. ගැමි සමාජය තුලින් ප්‍රභවය ලබා දියුණු වූ ගැමි නැටුම් කලාව ගැමියන් විසින් සරල රංග භාණ්ඩ මෙන් ම සරල රංග වස්ත්‍ර භාවිත කරමින් නිර්මාණය කරගත් හුදු නර්තන අංගයකි. මෙසේ හැඳින් වූ ගැමි නැටුම් කලාව තුල ආගමික පසුබිමක් ගැබ්ව පවතී.
ගැමි නැටුම් හා සබැඳි අවසර ගැනීම්වලදී ආගමික පසුබිම දක්වන අවස්තා රැසකි. එහිදී ගොයම් නැටුම ඉදිරිපත් කිරීමේදී තුනුරුවන් සිහිපත් කර එම නැටුම ආරම්භ කරනු ලබයි.
දෙවනුව ධම්මං සරණේ නමකර
තෙවනුව සංඝං සරණේ නමකර
අඩිය තබන්නට මිහිකත අවසර
මෙහිදී ගැමි ජනයාගේ ජීවන රටාව මනා සේ විවරණය වේ. එනම් කිසියම් ක්‍රියාවක් ආරම්භ කිරීමට පෙර ඔවුන් ත්‍රිවිධ රත්නයෙන් අවසර ගන්නා බව මෙම කවියෙන් පිළිබිඹු වේ. එම නර්තනය ආරම්භ කරනවා සේම වෙලේ, කමතේ කෙරෙන කෘෂිකාර්මික වැඩ පිළිවෙල තුල බුදුන් අදහා එම කාර්යයට පිවිසෙන අයුරු හා එම පළමු අස්වැන්නෙන් ගන්නා වූ මුල් කොටස බුද්ධ පූජාවට, දෙවියන්ගේ දානයට වෙන් කරමින් ගැමියා සතු උසස් ගුණාංග තුලින් ආගමික භක්තිය ද උද්දීපනය කරයි.
ගැමි නැටුම් අතර ඉතා ජනප්‍රිය ගැමි නැටුමක් වන රබන් නැටුම තුලින් ද මෙම ආගමික පසුබිම ප්‍රතීයමාන වේ.
උදා: උතුම් මේ බුදුරුවනේ සරණ වැඳ බුදු සරණය ගන්නයි
උතුම් මේ දම්රුවනේ සරණ වැඳ දම් සරණය ගන්නයි
උතුම් මේ සඟරුවනේ සරණ වැඳ සඟ සරණය ගන්නයි
සකල සුරන් සරණේ සරණ වැඳ රබාන අත ගන්නයි
මෙම රබන් නර්තනය ආරම්භ කිරීමට පළමු ව තුනුරුවන් වැඳ ඒ සඳහා අවසර ලබා ගන්නා බව ලොවට හෙළිකර ඇත්තේ ගැමි නැටුම තුල වූ ආගමික පසුබිම ප්‍රතීයමාන කරමිනි.
එපමණක් ද නොව ගැමි ජනතාව ඔවුන්ගේ සියලු ඕනෑ එපාකම් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා ගැමි ඇදහිලි හා විශ්වාස තරයේ කරමත තබාගත් බරක් වැනිය. එහිදී කෘෂිකර්මාන්තය තුල ද හිරු, සඳු, අව්ව, වැස්ස ආදී සොබාදහමේ නොපෙනෙන බලවේගයන්ගෙන් හා දෙව්දේවතාවන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගැනීමේ අරමුණු මුල් කොටගනිමින් ඔවුන් තම වගාවන් ආරම්භ කරන බව ගැමි නැටුම් හා ගැමි ගායනා තුලින් උද්දීපනය වේ. ගොවිතැන ජීවනෝපය කරගත් ගොවියා සෑම විටකම දේව ඇදහිලි හා විශ්වාස පෙරදැරි කරගනිමින් සිටින අය වෙති.
උදා: ඉරු දෙවියන්ගේ ඉරගල ගාවා
සද දෙවියන්ගේ සඳගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපළ ගාවා
මෙම කවිය තුල හිරු සඳුගෙන් අවසර ගත් මොවුන් ගණ දෙවියන්ගෙන් ද අවසර ගෙන මීළඟට පැමිණෙන්නේ තමාගේ ජීවන අරගලය ගෙන යන ''ගොවිපළ'' අසලට ය. සරල බස් වහරක් යොදාගනිමින් ආගමානුකූලව තම ජීවන ගමනට පියනගනු ලබන ආකාරය පුදුම සහගතය.
ගැමි නැටුම් තුලින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම තුල හින්දු දේව සංකල්පය මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ ප්‍රදේශවලට අරක් ගත් දෙවි දේවතාවුන් පුද ලබන අවස්තා ද ඇති බව කවි ගායනාවලින් පෙනේ.
උදා: '' බෝ පත්තිනි මට අවසර දෙන්නේ " කවිය
'' කතරගමට භාරයි අපි ඔක්කෝම '' කවිය
'' සතර වරම් දෙවි සතර දෙනාටයි '' කවිය
ආදී කවි ඉහත කියමනට නිදසුන් ය. ගණපති, පත්තිනි, කතරගම ආදී දෙවියන් පිළිබඳ ඇදහිලි හා විශ්වාස තුල සිට මෙම නැටුම්වල යෙදීමේදී මෙකී දෙවිවරු සිහිපත් කර පුද පූජා පවත්වා නර්තන ඉදිරිපත් කර ඇති බව මෙමඟින් ගම්‍යමාන වේ. එසේ හෙයින් ගැමි නැටුම් තුල හින්දු දේව සංකල්පය ද අන්තර්ගත බව ඉහත කවි සාක්ෂි දරයි.
මේ අනුව ගැමි නැටුමින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම පිළිබඳ උක්ත තොරතුරු සියල්ල ලබා දෙන්නේ මනා පිටිවහලකි.
සටහන : සුපිපි විහගිකා