Monday, November 15, 2021

ගැමි නැටුම්

 ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු 

නිරූපණය කරන කලා මාධ්‍යයකි

    


                    ගැමි නැටුම් වනාහි ගැමි ජනතාවගේ සිය ජීවනෝපායන් හා සමීප වෙමින් ඒ ඔස්සේ නිර්මාණය කරගත් කලාංගයකි. එහිදී ආදී ජනයා කෘෂිකර්මාන්තය හා බැඳුණු සරල නර්තන නිර්මණය කරගන්නා ලදී. ඒවා තුල අන්තර්ගත වන්නේ, එම ජනතාවගේ ජීවනෝපයන් හා සබැඳි අංගයන් ය. ඒ අනුව සරල රංග වස්ත්‍ර සහ සරල රංග භාණ්ඩ යොදාගනිමින් නිර්මාණය කරගන්නා ලද මේ ගැමි නැටුම් තුලින් ඔවුන්ගේ ජීවන තොරතුරු නිරූපණය වේ. ඒ සඳහා කදිම නිදසුන වන්නේ කෘෂිකර්මාන්තයයි. 

                    කෘෂිකර්මාන්තය හා සම්බන්ධ බොහෝ නර්තනාංග ඉදිරිපත් කර ඇති බව ඉතිහාසයෙන් පිළිඹිබු වේ. ගොයම් නැටුමට අයත් කවියක් තුලින් ඒ බව මෙසේ විදහා දක්වයි.

    '' පළමුව            බුද්ධං          සරණේ           නමකර

      දෙවනුව          ධම්මං         සරණේ            නමකර

      තෙවනුව         සංඝං          සරණේ            නමකර

      අඩිය               තබන්නට   මිහිකත්            අවසර ''   

                                                                                    මෙම කවිය ගත් කළ ඒ තුලින් ගැමි ජනායාගේ ජීවන රටාව මනාව පිළිඹිබු කරයි. එනම් කිසියම් ක්‍රියාවක්  ආරම්භ කිරීමට පෙර ඔවුන් ත්‍රිවිධ රත්නයෙන් අවසර ලබා ගනී. එපමණක් නොව ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය සඳහා කුඹුරට බැසීමට මහී (පොළොව) කාන්තාවගෙන් අවසර පතයි. මෙය වූ කලී අතීත ජනයාගේ ජීවන තොරතුරු හෙලිදරව් කිරීමකි.

                    එපමණක් ද නොව ගොවිතැන ජීවනෝපාය කරගත් ගැමි ජනයා තුල සෑම මොහොතකම ඇදහිලි හා විශ්වාසවලට මුල් තැනක් දුන් බවටද පහත කවිය සාක්ෂි දරයි. 

     '' ඉර         දෙවියන්ගේ         ඉරගල           ගාවා

       සඳ         දෙවියන්ගේ         සඳගල           ගාවා

       ඝණ        දෙවියන්ගේ        කෝවිල         ගාවා

       අපිත්       කියමු කවි           ගොවිපළ       ගාවා '' 

                                                                      ඈත අතීතයේ පටන් ම පැවත එන ඇදහිලි හා විශ්වාස අද්‍යතන ජන සමාජයේ ද අපට දක්නට ලැබේ. දුරාතීතයේ ඉර, හඳ, අව්ව, වැස්ස, ගින්න ආදී අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් පිහිට ලබාගත් ගැමියා දෙවි දේවතාවුන්ගෙන් ද පිහිට අයැද සිටීම ඉහත කවියෙන් ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව ගැමි නැටුම් ඉදිරිපත් කිරීමේදී ඇදහිලි විශ්වාසවලින් පිහිට ලබා ගත් බව පෙනේ.

                    සාමූහිකත්වය, සහයෝගය, සාහජීවනය, එකමුතු බව හා සුහදත්වය ආදී යහපත් ගුණාංග රාශියක් ගැමි සමාජය තුල පැවති බවට පහත කවියෙන් ඉදිරිපත් කරයි. 

  
     
'' උඩහ         ගෙදර         රන්කිරි        නංගිලත්           ඇවිල්ලා

       පහළ         ගෙදර         රන්කිරි        නංගිලත්            ඇවිල්ලා

       දොංත        තකට         දොං            තාලෙට පාද         තබාලා

       ගොයම්     කපති          ලස්සන        ගී සින්දු              කියාලා ''

                                                                                           අසල්වැසියන් එකමුතු වී ඔවුනොවුන්ගේ ක්‍රියාවන්ට දක්වන්නා වූ සාහයෝගය මෙම කවියෙන් පෙන්වන්නේ ගැමි නැටුම් තුලින් ගැමි ජනයාගේ ජීවන තොරතුරු මනා සේ විදහා දක්වමිනි. මේ අනුව බලන කළ ගැමි නැටුම් තුලින් ගැමි ජනතාවාගේ ජීවන තොරතුරු නිරූපණය වන බව මනාව පැහැදිලි වේ. 

                        තවද ගැමි ජනතාවගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලීමේ දී ඔවුන් කර්කශ වූ ජීවිතයක් ගත කළ ද ඉඩකඩ ලැබෙන සෑම මොහොතකම ඉතා විනෝදයෙන් තම ජීවිත ගත කළ බව අපි දන්නෙමු. ඒ බව මනාව ගැමි නැටුම් තුලින් විදහා පායි. 

                        උක්ත සියලු කරුණුවලට අනුව  ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස ගම්‍යමාන වේ.  



සටහන : සුපිපි විහගිකා


 

Thursday, October 28, 2021

ගැමි නැටුමින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම


          ගැමි නැටුම් යනු, ගැමියන් විසින් ඔවුන්ගේ ජීවන රැකියාවන්, සමාජ අවශ්‍යතා, සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස හා ආගමික පසුබිම, ඕනෑ එපාකම් යනාදී සියල්ල එක් කර ගනිමින් නිර්මාණය කරගත් කලා අංගයකි. ගැමි සමාජය තුලින් ප්‍රභවය ලබා දියුණු වූ ගැමි නැටුම් කලාව ගැමියන් විසින් සරල රංග භාණ්ඩ මෙන් ම සරල රංග වස්ත්‍ර භාවිත කරමින් නිර්මාණය කරගත් හුදු නර්තන අංගයකි. මෙසේ හැඳින් වූ ගැමි නැටුම් කලාව තුල ආගමික පසුබිමක් ගැබ්ව පවතී. 

        ගැමි නැටුම් හා සබැඳි අවසර ගැනීම්වලදී ආගමික පසුබිම දක්වන අවස්තා රැසකි. එහිදී ගොයම් නැටුම ඉදිරිපත් කිරීමේදී තුනුරුවන් සිහිපත් කර එම නැටුම ආරම්භ කරනු ලබයි. 

උදා:    පළමුව     බුද්ධං     සරණේ     නමකර
           දෙවනුව   ධම්මං     සරණේ    නමකර
           තෙවනුව  සංඝං     සරණේ     නමකර
           අඩිය       තබන්නට මිහිකත     අවසර 

                                                           මෙහිදී ගැමි ජනයාගේ ජීවන රටාව මනා සේ විවරණය වේ. එනම් කිසියම් ක්‍රියාවක් ආරම්භ කිරීමට පෙර ඔවුන් ත්‍රිවිධ රත්නයෙන් අවසර ගන්නා බව මෙම කවියෙන් පිළිබිඹු වේ. එම නර්තනය ආරම්භ කරනවා සේම වෙලේ, කමතේ කෙරෙන කෘෂිකාර්මික වැඩ පිළිවෙල තුල බුදුන් අදහා එම කාර්යයට පිවිසෙන අයුරු හා එම පළමු අස්වැන්නෙන් ගන්නා වූ මුල් කොටස බුද්ධ පූජාවට, දෙවියන්ගේ දානයට වෙන් කරමින් ගැමියා සතු උසස් ගුණාංග තුලින් ආගමික භක්තිය ද උද්දීපනය කරයි. 

ගැමි නැටුම් අතර ඉතා ජනප්‍රිය ගැමි නැටුමක් වන රබන් නැටුම තුලින් ද මෙම ආගමික පසුබිම ප්‍රතීයමාන වේ. 

උදා:     උතුම්     මේ        බුදුරුවනේ      සරණ     වැ     බුදු         සරණය     ගන්නයි
            උතුම්     මේ        දම්රුවනේ      සරණ     වැ     දම්         සරණය     ගන්නයි
            උතුම්     මේ        සඟරුවනේ     සරණ     වැ     ස        සරණය     ගන්නයි
            සකල     සුරන්    සරණේ           සරණ     වැ    රබාන    අත             ගන්නයි 

                                                                                                                          මෙම රබන් නර්තනය ආරම්භ කිරීමට පළමු ව තුනුරුවන් වැඳ ඒ සඳහා අවසර ලබා ගන්නා බව ලොවට හෙළිකර ඇත්තේ ගැමි නැටුම තුල වූ ආගමික පසුබිම ප්‍රතීයමාන කරමිනි. 

            එපමණක් ද නොව ගැමි ජනතාව ඔවුන්ගේ සියලු ඕනෑ එපාකම් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා ගැමි ඇදහිලි හා විශ්වාස තරයේ කරමත තබාගත් බරක් වැනිය. එහිදී කෘෂිකර්මාන්තය තුල ද හිරු, සඳු, අව්ව, වැස්ස ආදී සොබාදහමේ නොපෙනෙන බලවේගයන්ගෙන් හා දෙව්දේවතාවන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගැනීමේ අරමුණු මුල් කොටගනිමින් ඔවුන් තම වගාවන් ආරම්භ කරන බව ගැමි නැටුම් හා ගැමි ගායනා තුලින් උද්දීපනය වේ. ගොවිතැන ජීවනෝපය කරගත් ගොවියා සෑම විටකම දේව ඇදහිලි හා විශ්වාස පෙරදැරි කරගනිමින් සිටින අය වෙති. 


උදා:     ඉරු      දෙවියන්ගේ     ඉරගල          ගාවා
            සද       දෙවියන්ගේ     ගල          ගාවා
            ගණ     දෙවියන්ගේ     කෝවිල       ගාවා
            අපිත්    කියමු     කවි    ගොවිපළ     ගාවා     
  
     මෙම කවිය තුල හිරු සඳුගෙන් අවසර ගත් මොවුන් ගණ දෙවියන්ගෙන් ද අවසර ගෙන මීළඟට  පැමිණෙන්නේ තමාගේ ජීවන අරගලය ගෙන යන ''ගොවිපළ'' අසලට ය. සරල බස් වහරක් යොදාගනිමින් ආගමානුකූලව තම ජීවන ගමනට පියනගනු ලබන ආකාරය පුදුම සහගතය. 

         ගැමි නැටුම් තුලින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම තුල හින්දු දේව සංකල්පය මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ ප්‍රදේශවලට අරක් ගත් දෙවි දේවතාවුන් පුද ලබන අවස්තා ද ඇති බව කවි ගායනාවලින් පෙනේ. 

            උදා:     '' බෝ පත්තිනි මට අවසර දෙන්නේ " කවිය

                       '' කතරගමට භාරයි අපි ඔක්කෝම ''   කවිය

                        '' සතර වරම් දෙවි සතර දෙනාටයි ''   කවිය 
                                                                                       ආදී කවි ඉහත කියමනට නිදසුන් ය. ගණපති, පත්තිනි, කතරගම ආදී දෙවියන් පිළිබඳ ඇදහිලි හා විශ්වාස තුල සිට මෙම නැටුම්වල යෙදීමේදී මෙකී දෙවිවරු සිහිපත් කර පුද පූජා පවත්වා නර්තන ඉදිරිපත් කර ඇති බව මෙමඟින් ගම්‍යමාන වේ. එසේ හෙයින් ගැමි නැටුම් තුල හින්දු දේව සංකල්පය ද අන්තර්ගත බව ඉහත කවි සාක්ෂි දරයි. 

        මේ අනුව ගැමි නැටුමින් ප්‍රතීයමාන වන ආගමික පසුබිම පිළිබඳ උක්ත තොරතුරු සියල්ල ලබා දෙන්නේ මනා පිටිවහලකි.

          


සටහන : සුපිපි විහගිකා











   

ගැමි නැටුම්

  ගැමි නැටුම් යනු ගැමි ජනතාවගේ ජීවන තොරතුරු  නිරූපණය කරන කලා මාධ්‍යයකි                               ගැමි නැටුම් වනාහි  ගැමි ජනතාවගේ සිය ජීව...